• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

වරිපනම්


වරිපනම් යනු කුමක්ද?

මහා නගර සභා සීමාව තුල පදිංචි සෑම නේවාසිකයෙකු විසින්ම සිය නේවාසික දේපලෙහි වාර්ෂික තක්සේරු වටිනාකම මත නගර සභාව වෙත ගෙවිය යුතු බද්ද වරිපනම් බදු ලෙස හැදින්වේ.

වරිපනම් බදු පැනවීමේදී මහා නගර සභාව විසින් වාර්ෂිකව මහා නගර සභාවේ අනුමැතිය යටතේ නිවැසියන් විසින් ගෙවිය යුතු වරිපනම් බදු අනුපාතය තීරණය කරනු ලබයි. වර්තමානයේදී

අ). ව්‍යාපාරික කාර්යයක් සඳහා භාවිතා කරනු ලබන දේපලවල වාර්ෂික වටිනාකමින් 30% ක්ද

ආ). ව්‍යාපාරික නොවන කාර්යයක් සඳහා භාවිතා කරනු ලබන දේපලවල වාර්ෂික වටිනාකමින් 6% ද

ඇ). මුඩු ඉඩම් හා හිස් ඉඩම්වල වාර්ෂික වටිනාකමින් 6 % ක්  ලෙසද වරිපනම් බදු අයකෙරේ.


භාවිතය නොමැති අවස්ථාවලදී දේපල සඳහා වරිපනම් බදු ගෙවීම.

ව්‍යාපාරික දේපලක් ව්‍යාපාරික කාර්යයක් සඳහා යොදා නොගන්නා අවස්ථාවකදී එම දේපල සඳහා ව්‍යාපාරික නොවන පදනම මත වරිපනම් බදු ගෙවීමට ඉල්ලුම් කළ හැකිය. ඒ සඳහා වන ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර නගර සභාවේ වරිපනම් අංශයට භාර දීමෙන් ඔබට අදාල සහනයක් ලබාගත හැකිය. දේපල ව්‍යාපාරික කාර්යයක් සඳහා භාවිතා නොකළ බවට ජල බිල්පත්, විදුලි බිල්පත්, කුලී ගිවිසුම් හෝ වෙනත් පිළිගත හැකි සාක්ෂි මඟින් තහවුරු කිරීම ඔබගේ වගකීම වේ.
වරිපනම් බදු ගෙවීමේදී නගර සභා කාර්යාලයට පැමිණ ගෙවිය යුතුය. එහිදී ගෙවීම් පත්‍රිකාව නිවැරදිව පිරවිය යුතුය. එහි අන්තර්ගත කරුණු පහත පරිදි වේ.වරිපනම් බිල්පත් ගෙවීම

  • කොට්ඨාශ අංකය
  • වීථිය
  • දේපල අංකය
  • දේපල හිමියාගේ නම
  • ගෙවනු ලබන මුදල
  • ගෙවීම් මාධ්‍ය
  • ගෙවීම් කරනු ලබන පුද්ගලයාගේ අත්සන
  • දිනය

වරිපනම් බදු ගෙවීමේදී මුදලින් හෝ චෙක් පතින් ගෙවිය හැක

ඉදිරි දාතම යෙදු චෙක්පත් ගෙවිය නොහැක.

චෙක්පතින් ගෙවීම් කිරීමේදී නාගරික කොමසාරිස්, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව වෙතට ගෙවිම් කළ යුතුය.

වරිපනම් බදු වලින් නිදහස් දේපල

පහත සඳහන් දේපල වරිපනම් බදු ගෙවීමෙන් නිදහස් වේ.

  • රජයේ අනුමත සිද්ධස්ථාන (පන්සල්, පල්ලි, කොවිල්)
  • රජයේ පාසල් හා අධ්‍යාපනික ආයතන
  • නගර සභාවේ සේවා සැපයුම් කාර්යය සඳහා භාවිතා කරන දේපල
  • පොදු ස්ථාන (නාන ලිං, අම්බලම් යනාදි)


වරිපනම් ගෙවීමේදි සැලකිය යුතු කරුණු

  • සෑම වර්ෂයකදීම වරිපනම් බදු ගෙවීමේදී ජනවාරි 31 පෙර ගෙවනු ලැබුවහොත් 10% ක වට්ටමක් හිමිවේ.
  • කාර්තුව මුල් මාසයේ ගෙවනු ලබන්නේ නම් 5% ක වට්ටමක්ද හිමිවේ.
  • අදාල කාර්තුව අවසානයේ වරිපනම් බදු නොගෙවන්නේ නම් නේවාසික දේපලකට 15% ක වරෙන්තු ගාස්තුවක්ද ව්‍යාපාරික දේපලකට 20%ක වරෙන්තු ගාස්තුවක්ද අයකරනු ලැබේ.
  • දීර්ඝ කාලීනව වරිපනම් බදු ගෙවීම් පැහැර හරිනු ලබන දේපල සඳහා මහා නගර සභා ආඥා පනතට අනුව දේපල තහනම් කිරීමට හැකියාව ඇත.


තක්සේරු දැන්වීම් නිකුත් කිරීම:

තක්සේරු දැන්වීම් නිකුත් කිරීම සෑම වර්ෂයක් පාසාම සිදු කරනු ලැබේ. එය පෙර වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මස සිට නිකුත් කිරීම ආරම්භ කරයි.


තක්සේරු දැන්වීමේ වැදගත්කම:

ජලය, විදුලිය හා පාසලට ළමුන් ඇතුලත් කිරීමේදී මෙහි පිටපතක් ඉදිරිපත් කළ යුතුය.තක්සේරු දැන්වීම

නොපවරා ගැනීමේ සහතික පත් නිකුත් කිරීම.

නොපවරා ගැනීමේ සහතික පත්‍රය යනු කිසියම් දේපලක් සම්බන්ධයෙන් වරිපනම් බදු නොගෙවීම හේතුවෙන් ඒකී දේපල නගර සභාවට පවරා නොගන්නා බවට දෙනු ලබන සහතිකයයි.
නොපවරා ගැනීමේ සහතිකය ලබා ගැනීමට ඉල්ලුම් පත්‍රය නගර සභාවෙන් ලබා ගත යුතුය.


එහි අඩංගු කරුණු

  • වරිපනම් අංකය
  • වීථිය
  • අයිතිකරුගේ නම
  • අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්
  • බලය පවරන ලද තැනැත්තාගේ නම
  • බලය පවරන ලද තැනැත්තාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්

අයිතිකරුගේ නමෙහි වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි.

අයිතිකරු මෙරටින් බැහැරනම් නීතිඥයෙකු මඟින් ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කළ හැක.

ජාතික හැඳුනුම්පතෙහි විවාහයෙන් පසු නමෙහි වෙනසක් පවතී නම් විවාහ සහතිකයේ පිටපතක් හෝ පිළිගත් සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.

නොපවරා ගැනීමේ ඉල්ලුම් පත්‍රය